මේ ඔබ දකින්නේ වත්මන් JVP ආණ්ඩුව බලයට ආ සැනින් රටේ ආරක්ෂක මර්මස්ථාන වල ආරක්ෂාව ගලවා ඉවත් කිරීම ගැන එක් උදාහරණයක් පමණි… මේ අයුරින් රටේ නන් දෙසින් ආරක්ෂක මුරකාවල් ඉවත් කෙරුණි.

තදාසන්න ප්‍රදේශ සහ ඒවායේ පුද්ගලයන් ගැන ඉතා පුළුල් අවබෝධයක් තිබුන ආරක්ෂක ප්‍රධානීන්ව මාරු කෙරුණි. බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් සහ උතුරේ යුද මෙහෙයුම් වල සිටි සෙබලුන්ගෙන් දසක ගණන් පැරණි නඩු අදිමින් පළි ගත්‍තෝය. ආරක්ෂක අංශ අකර්මන්‍ය විය. සාක්ෂි නොමැති නිසා රණවිරුවන්ට නඩු දාන්න පදනමක් නැතැයි කියූ නීතිපති තුමාව සේවයෙන් පහ කිරීමට හදයි. අධිකරණ පද්ධතියම දුර්වල විය.
එහි ප්‍රතිඵලය දැන් දැන් රටම භුක්ති විඳියි. තැන තැන මනුෂ්‍ය ඝාතන සිදුවෙන අතර, මෑතකදී අධිකරණය තුළට ගොස් විනිශ්චකාරවරයා ඉදිරියේම ඝාතනයක් සිදුකර නිරුපද්‍රිතව පලා යාමටද අපරාධකරුට හැකි විය. විශේෂ කාරණාව වන්නේ එය මෙහෙයවූයේ කිසිදු සන්නද්ධ පුහුණුවක් නොමැති කාන්තාවක් වීම නිසයි.
මෙලෙස ආරක්ෂක මුරකාවල් ඉවත් කර තිබියදී, ආණ්ඩුවෙන්ම රණවිරු දඩයම සිදුකරද්දී, ඒ ගැන පුදුම වීමට දෙයක් නැත.
දැන් අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි, බොඩි චෙකප් නිසා අධිකරණය ඉදිරිපිට කිලෝමීටරයකට දුර පෝලිමකි. ජනතාව විඳවයි.
2005 ආණ්ඩු බලය ගත් ගමන් එදා හෙළ උරුම ආදීන්ගේ කුලප්පුවට, මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක් විටම යුද කිරීමට ගියේ නැත. මුලින්ම කළේ රටේ ආරක්ෂක මර්මස්ථාන වල ආරක්ෂාව තහවුරු කිරීමයි. දෙවැනිව පාකිස්ථානය, වියට්නාමය, රුසියාව, චීනය සමග මිත්‍රත්වයක් ඇතිකරගෙන අන්තර්ජාතිකව රට ආරක්ෂා කළේය. තෙවැනුව, අපි වවමු රට නගමු, වගා සංග්‍රාමය, රු 350 ට පොහොර මිටි දීම ආදිය මගින් ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂණය කළේය.
විදේශ තානාපතිවරුන් පැමිණෙන අරලිය ගහ මන්දිරයේ සිට, වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, ජල පිරිපහදු ආදිය ආරක්ෂා කිරීමට, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාත්, ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම බුද්ධි ප්‍රධානියා ලෙස සැලකෙන මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරන මහතාත් ජාතික සැලැස්මක් ස්ථාපිත කළෝය. එවකට ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන් ලෙස FBI විසින් නම් කර තිබූ LTTE ය සමග සටන් කරද්දීත් රට Lock Down නොකර පවත්වාගැනිමට හැකි වූයේ එනිසයි. අද ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරමින් සිටින්නේ එම ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියයි.
දැන්වත් වත්මන් ආණ්ඩුව කළ යුත්තේ, මානුෂික මෙහෙයුම කාලයේදී ආරක්ෂාව භාරව සිටි බුද්ධි ප්‍රධානීන්ගෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව උපදෙස් ගෙන, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ස්ථාපිත කළ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කිරීමයි.